Halloween party ideas 2015


මහේෂ් සේනානායක යුද හමුදාවට බැඳෙන්න කැමැත්තක් ඇති වුණේ කොයි කාලෙද? මොනවද ඒකට හේතු වුනේ?

මෙහෙමයි මගේ සීයා යුද හමුදාවේ සේවය කළේ. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මම පොඩි කාලෙ හැදුණෙ ඇන්ඩර්සන් පොලිස් නිවාස වල. පුංචි කාලෙ ඉඳලම මම දැක්කෙ නිළ ඇඳුම්. හැත්තෑ එකේ කැරැල්ල වෙලාවේ අපේ තාත්තා ඇතුලු නිළධාරීන් අවි ඇතැතිව කළ රාජකාරිය අපි දැක්කා. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. අපේ කාලේ විදුහල්පති කර්නල් ඩී ඩබ්ලිව් රාජපක්ෂ. ඔහු හරියට ළමයින් අඳුනාගත්තා. පන්තියේ ළමයින්ගෙන් කවුද දොස්තර වෙන්නෙ කවුද ඉංජිනේරුවරයෙක් වෙන්නෙ කවුද හමුදා නිලධාරීන් වෙන්නෙ කවුද කියන එක ගැන හොඳ අවබෝධයක් ඔහුට තිබුණා. මම හොඳින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වුණා. හැබැයි පාසලේ කරපු ක්‍රියාකාරකම් එක්ක ඔහු හිතුවේ මම යන්න ඕන හමුදාවට කියලා. විදුහල්පති මගේ මව්පියන් ගෙන්වලා කිව්වා මෙයාව කැඩෙට් කරන්න යොමු කරන්න කියලා

හමුදාවට බැඳුණු කොයි අවුරුද්දේද?
1981 ඔක්තෝම්බර් 16 වැනිදා මම යුද හමුදාවට බැඳුණා. කඩෙට් නිලධාරීන් අංක 16 බඳවාගැනීම් යටතේ තමයි මම බැඳුණේ දියතලාව හමුදා අභ්‍යාස විද්‍යාලයේ මස 20 ක පමණ කාලයකින් පසුව 1983 ජූනි 23 වැනිදා මම අධිකාරිත්වයට පත්වුණා. ඊට හරියටම මාසෙකට පස්සෙ ජූලි 23දා යුද හමුදා නිලධාරීන් දහතුන් දෙනකු මරලා ඒල් ටී ටී ඊ ය යුද්ධය පටන් ගත්තා.

1983 ජූලි 23 කියලා දිනයක් ඔබ කිව්වා හැබැයි යුද්ධයේ ආරම්භය ගැන විවිධ මත තියෙනවා. ඇත්තටම කවදද යුද්ධයේ ආරම්භය සිද්ධ වුණේ?
අපි මුලින්ම බලන්න ඕනේ යුද්ධය ආරම්භ වෙන්නේ බලපාපු හේතු.ඒවා දේශපාලනික වෙන්න පුළුවන් නැත්තම් ජාතිවාදී වෙන්න පුළුවන් ආර්ථිකය හේතු ඇති. හතලිස් අටේ ඉඳලම ඕක ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණා පනස් ගණන්වල මුස්ලිම් කෝලාහල වුණා ඊට පස්සෙ දෙමළ කෝලාහලත් වුණා.ඕවා පහු කරගෙන ඇවිත් ඇත්තේ හැත්තෑ ගණන් වල තරුණ නැගිටීම් වුණා. විශේෂයෙන්ම උතුරේ එහි ප්‍රතිඵල ලෙස යාපනයේ නගරාධිපති දොරේ අප්පා ඝාතනය වුණා. වෙනත් වෙනත් ඝාතන සිද්ධ වුණා. හැබැයි ඒ වෙලාවේ භූමියේ හමුදාව හිටියේ නැහැ . මුහුදු සීමාව ආශ්‍රිතව හමුදාව සුලු ප්‍රමාණයක් හිටියා මත්දුව්‍ය ජාවාරම් මැඩලන්න.මම දකින විදියට යුද්ධය කියන එක ඇඟට දැනෙන්න පටන්ගත්තේ 83 ජුලි 23දා තුන් දෙනා ඝාතනය කිරීමත් එක්ක යුද්ධය වචනය අපේ සමාජෙ භාවිතා කරන ගත්තේ ඔය සිදුවීමෙන් පස්සේ.

හතරවැනි ඊළාම් යුද්ධය පටන් ගත්තේ මාවිල්ආරු වලින්. යුද්ධය පටන් ගනිද්දි යුධ හමුදාවට සැළසුමක් තිබුණද එය අවසානයක් කරා යන ජයග්‍රාහී යුද්ධයක් බවට පත් කරන්න?

2002 – 2004 කාල සමයේ යාපනයේ යුද හමුදා ආඥාපති ලෙස කටයුතු කළේ සරත් ෆොන්සේකා. අපි ඒ කාලේ තමයි යුද්ධය ජයග්‍රහණය කරන හැටි සැලසුම් කළේ. ජෙනරාල් ෆොන්සේකා හමුදාපති වෙලා මාවිල්ලාරු වලට ගහන වෙලේ නෙවෙයි යුද්ධයේ සැලසුම් හැදුවෙ. ඊට බොහෝ කාලයකට පෙර අවුරුදු තුනකින් යුද්ධය අවසන් කරන හැටි අපි සැළසුම් කළා. ඒස් අයි ඕ ටී කියන ප්ලැටූන්ස්, එයිට් මෑන් – ෆෝ මෑන් කියන කුඩා කණ්ඩායම්, විශේෂ බලකායේ කණ්ඩායම්,ම කුළුවා කියලා බුද්ධි කණ්ඩායම් හැදුවේ මාවිල්ආරු කියන වචනය දැනගන්නත් ඉස්සෙල්ලා. එහෙම කළේ සාමය කඩවුනොත් සටනකට යන්න වෙන බව අපි දැනගෙන හිටිය නිසා. මම ඒ වෙනකොට යුධ හමුදා විශේෂ බල සේනාවේ සේනාධිපති. කොමාන්ඩෝ බල සේනාවේ සේනාධිපති ජෙනරාල් රාජපක්ෂ. අපි ජෙනරාල් ෆොන්සේකාත් එක්ක එකතු වෙලා කලින් කියපු කණ්ඩායම් සහ අවශ්‍ය පසුබිම හැදුවා පුහුණුවීම් කළා.
මාවිල්ආරු වලින් පටන් ගත්ත සටන ඊට පස්සේ සැලසුම් කළේ කොහොමද?

මාවිල්ආරු සටන පටන් ගන්නකොට මම හිටියේ යාපනය අර්ධද්වීපයේ. මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විදිහට කටයුතු කළේ. ඊට කලකට පසුව තමයි යුධ සැළසුම් අධ්‍යක්ෂකවරයා විදිහට මාව යුධ හමුදා මූලස්ථානයට කැඳෙව්වේ. ඒ වෙනකොට අපි තේරුම් අරගෙන හිටියා ත්‍රස්තවාදි සංවිධානයක් පවත්වාගෙන යන්නට නම් මිනිස් බලය අවශ්‍යයි කියන එක. එල් ටී ටී ඊයට මිනිස් බලය ලැබුණේ නැගෙනහිරින්. 
යාපනයෙන් නොවෙයි.ඒල් ටී ටී ඊ යේ මිනිස් බලය අඩු කරන්න අපි තීරණය කළා සටනට නැගෙනහිරින් පටන් ගන්න. මිනිස් බලය අඩු වුණාම එල ටී ටී ඊ යේ සටන්කාමීත්වය අඩුවෙනවා. වන්නියෙන් අලුතෙන් බඳවා ගත්තත් එල් ටී ටී ඊයට ගන්න පුලුවන් සුලු ප්‍රමාණයයි. බඳවා ගන්න අයත් සටනට අධුනිකයි. අනෙක් විශේෂ කාරණය තමයි එල් ටී ටී ඊ සංවිධානය දෙකට කැඩීම. යම් යම් ක්‍රමවේද හරහා එය සාම කාලයේ කරලා තිබුණා. යුධ ජයග්‍රහණයට අප එයින් ප්‍රයෝ්ජන ගත්තා.
මීට කලින් යුද්ධ වලදී එල් ටී ටී ඊය යම් තාක් දුරකට පසුබස්වා සටන අතරමග නතර කරපු අත්දැකීම් අපට තිබෙනවා. මාවිල්ආරු සටන පටන් ගත්තෙත් එහෙම අදහසකින් ද? නැත්තම් එල් ටී ටී ඊ ය ඉවර කරනවා කියන අරමුණකින්ද?

ජෙනරාල් ෆොන්සේකා යුධ හමුදාපති වුණාම එවකට හිටිය ජනාධිපතිටත් රටටත් පොරොන්දුවක් දුන්නා. ඊළඟ හමුදාපතිට මම මේක ඉතුරු කරන්නේ නැහැ කියලා. අපට කිව්වේ අවුරුදු තුනකින් යුද්ධය ඉවර කරන්න ලෑස්ති වෙන්න කියලා. අපි මාවිල්ආරු වලින් සටන පටන් ගත්තේ එල් ටී ටී ඊ ය ඉවර කරන්න මිසක් අතරමඟ නවත්තන්න නෙමෙයි.

හමුදාව යුද්ධය දිනනවා කියලා දැනුණු තීරණාත්මක හැරවුම් ලක්ෂය කොතැනද?

එහෙම හැරවුම් ලක්ෂ කීපයක් ම තියෙනවා. නැගෙනහිර ජයග්‍රහණය ඉන් එකක්. නැගෙනහිර ජයග්‍රහණයෙන් පසුව රටේම විශ්වාසයක් ඇතිවුනා හමුදාව යන්නේ ජයග්‍රාහී ගමනක කියලා. අවුරුද්දට 3,000 ක් බඳවගන්න බැරුව හිටපු හමුදාවට ඊට පස්සේ මාසෙකට 3,000 ක් බඳවගන්න පුලුවන් වුණා. එල් ටී ටී ඊ යට කිලිනොච්චිය අහිමවීමත් තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. හමුදාව කිලිනොච්චිය ජයග්‍රහණය කළාට පස්සේ රටේ විශාල පරිවර්තනයක් සිදුවුණා. මේක දිනන යුද්ධයක් කියලා.
එල් ටී ටී ඊ යට විශාල පිරිස් බලයක් තිබුණා. සල්ලි තිබුණා. ආයුධත් තිබුණා. එල් ටී ටී ඊ යට තිබුන යුධමය ශක්තිය ගැන යුද හමුදාවට නිවැරැදි අවබෝධයක් තිබුණද?

එල් ටී ටී ඊ යට තිබුණු ශක්තිය පිළිබඳව අවබෝධය හැමදාමත් හමුදාවට තිබුණා. නමුත් යම් යම් අවස්ථාවල අපේ යුද උපක්‍රමවල තමයි දෝෂ තිබුණේ. ඒ කාලේ හමුදාවේ සේනාංක ඔක්කොම ඒ 9 පාරේ දෙපැත්තේන් ගියා එතකොට එල්ටීටීඊ ඔවුන්ගේ සම්පූර්ණ අවි බලය එයට එරෙහිව යොදවන්න පුළුවන් වුණා. හැබැයි අන්තිම යුද්ධයේදී අපි යුධ පෙරමුණ පහකින් විතර සටන් කළා. මන්නාරමින් ආවා වැලිඔයෙන් ඉදිරියට ගියා ඒ 9 පාරේ ගියා යාපනයේන් පහළට ආවා එතකොට සතුරාගේ අවි බලය බෙදුණා. අපේ වෙනස් යුද සංකල්පය සාර්ථක වුණා.
ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදී නායකයෙක්. හැබැයි ඔහු විශාල සංවිධානයක් ගොඩනැගුවා. මරාගෙන මැරෙන කාඩර්වරු හැදුවා. මුහුදු කොටි බලකායක් හැදුවා.සැහැල්ලු ගුවන් යානා තිබුනා ප්‍රභාකරන් කොහොමද මේ දේවල් කළේ?

ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදී නායකයෙක්. හැබැයි ඔහුට carismatic leadership එකක් තිබුණා. අනෙක් කාරණේ තමයි මිනිස්සුන්ට වෙන තෝරාගැනීමක් තිබුණේ නැහැ උතුරේ තිබුණු අනෙකුත් සංවිධාන නවයක් විතර ඔහු සුන්නද්දූලි කරලා දැම්මා. එල්ටීටීඊය ඇතුලේ වෙනත් නායකයෙක්ට හැදෙන්න අවස්ථාවක් දුන්නේ නැහැ. සංවිධානයෙන් ඉහළට මතු වෙලා ආපු මහත්තයාව ප්‍රභාකරන් මරලා දැම්මා. ඔය වගේ දේවල් හරහා ප්‍රභාකරන් ඒකාධිපති බලයක් ගොඩනඟා ගත්තා. මිනිස්සුන්ට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ප්‍රභාකරන්ට කැමති වෙන්න උනේ වෙන නායකත්වයක් නොතිබුණු නිසා. අනෙක් දේ තමයි එල් ටී ටී ඊ සාමාජිකයන් හැමෝම කැමැත්තෙන් සංවිධානයට බැඳුණු අය නෙමෙයි බොහෝ දෙනෙක්ව බලෙන් ගෙනිච්චේ.ඉස්කෝලෙ යන ළමයින්වත් බලෙන් ගෙනිච්චා කාන්තාවන්වත් අරගෙන ගියා.
යුද්ධය හොඳින් කෙරෙනකොට නවත්තන්න කරපු බලපෑම් ගැන අතීත අත්දැකීම් අපට තියෙනවා. අවසන් යුද්ධයේදීත් ඒක නවත්තන්න බලපෑමක් ආපු අවස්ථා තියෙනවාද?

එහෙම බලපෑමක් නම් අවසන් මානුෂීය මෙහෙයුමේදී කිසිම අවස්ථාවක මම දැක්කේ නැහැ සතුරාට කිසිම අවස්ථාවක ඔළුව උස්සන්න බැරි වෙන්න එක දිගට අප සටන කළා
එල් ටී ටී ඊ ප්‍රහාර හමුවේ එක අඩියක්වත් පස්සට තියපු අවස්ථා නැද්ද?
නැතුව නොවෙයි අපේ ආරක්ෂක වළලු කැඩිච්ච අවස්ථාත් තිබුණා. හැබැයි අපට ශක්තියක් තිබුණා ඉක්මනින්ම ඒවා ආපහු ගන්න. අනෙක නිලධාරීන් සහ සොල්දාදුවන් විශාල මානසික ශක්තියක හිටියා යුද්ධය දින්නන. යුද භූමියේ ඉන්න කණ්ඩායම් අපි හිර කළේ නැහැ. ඔවුන්ට නිදහස දුන්නා හරි විදිහට යුද්ධය කරන්න. ඉස්සර ජයසිකුරු කිව්වා බලවේගය කිව්වා හැබැයි අපි අවසන් මානුෂීය මෙහෙයුම කලේ ඒවගේ ඔපරේෂන් ඕඩර් එකකට නෙවෙයි.

මීට වෙනස් කරන්න ප්‍රභාකරන්ව අල්ලා ගත් අවස්ථා තිබුණාද?
මෙහෙමයි හමුදාව ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටි අවස්ථාවක යම් හේතුවක් මත වඩමාරච්චි සටන අතරමග නතර කරන්නට සිද්ධ වුණා. ඒ වෙලාවෙ ප්‍රභාකරන් පසු බැහැලා හිටියේ. ඒ අවස්ථාවේ යුද්ධය අවසන් කරන්න තිබුණා. ඉන්දීය හමුදාවට ඇවිත් හිටිය කාලයකුත් තිබුණා .අපට වඩා හමුදාවක් ඔවුන්ට හිටියා. ඒ අවස්ථාවේත් ඉවර කරන්න තිබුණා. ඒ අවස්ථාවල අපි කණිෂ්ඨ නිළධාරීන්. ඒවා අතරමග නැවැත්තුවේ ඇයි නවත්වන්නට අණ දුන්නේ කව්ද කියන එකට පිළිතුරක් අපි ළඟ නැහැ.අපි කළේ යුධ භූමියේ අපිට පැවරුණ රාජකාරිය හරියට කරන එක. ප්‍රභාකරන් ලංකාවෙන් හොරෙන් පැනලා ගිහින් කාලයක් ඉන්දියාවේත් හිටියා. දෙදහස් නමයේ මැයි මාසයට කලින් ඔහු විනාශ කරන්න තිබුණ අවස්ථා කිහිපයක් මොන මොන හේතු හින්දා හරි අපට මඟ හැරුණා.

එල් ටී ටී ඊ ඇතැම් නායකයන් යුද හමුදාවට බාර වුනා කියලා එක එක කතා තියෙනවා. ඒක අදටත් විසඳිලා නැති ප්‍රශ්නයක්. යුද්ධය යන අතර මගදී එල් ටී ටී ඊ නායකයන්ගෙන් යම් සිග්නල් එකක් ලැබුණද හමුදාවට බාරවෙන්න කැමතියි කියලා?
නැහැ එහෙම signalඑකක් ලැබුනෙ නෑ. එල්ටීටීඊ නායකයන් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස පාවිච්චි කළා. ඔවුන් සාමාන්‍ය ඇඳුම් ඇඳලා සිවිල් ජනතාව අතර සිටියේ. ඔවුන් භාරවෙන්න කතා කලේ නැහැ. යුද්ධයේ අවසානය කරා ළඟා වෙද්දී ඔවුන්ට එහෙම පණිවුඩ එවන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ

කිලිනොච්චි දිනලා මුලතිව් වලට යනකොට, නන්දිකඩාල් වලට කිට්ටු කරනකොට, යුධ හමුදාවද ප්‍රභාකරන් පණපිටින් අල්ලා ගන්න පුලුවන් වෙයි කියලා?
ඒ වෙනකොටත් අපට තහවුරු වෙලා තිබුණා ප්‍රභාකරන් ඇතුලේ ඉන්නවා කියලා. අපි ඔහුව පණපිටින් අත්අඩංගුවට ගන්න සැලසුම් කළේ නැහැ. අපි සැලසුම් කළේ අවුරුදු තුනකින් යුද්ධය ඉවර කරන්න. නැතුව කාවහරි පණපිටින් අල්ලා ගන්න නොවෙයි ඒ ක්‍රියාන්විතය කරගෙන යද්දී ප්‍රභාකරන් පණපිටින් අහුවෙනවට වඩා මිය යන්න තිබුණ සම්භාවිතාව වැඩියි

ප්‍රභාකරන්ගේ අවසානය ගැන එක එක කතා කියනවා. සමහරු කියනවා ඔහු සිය දිවි නසා ගත්තා කියලා තවත් අය කියනවා කාලතුවක්කු ප්‍රහාරයකින් මියගියා කියලා. පණපිටින් අල්ලාගෙන පනාගොඩ කෑම්ප් එකට ගෙනත් මහින්ද රාජපක්ෂට පෙන්නලා ආපහු නන්දිකඩාල් වලට අරගෙන ගිහින් මැරුවා කියලත් කියනවා මොකක්ද ප්‍රභාකරන්ගේ ඇත්ත අවසානය?

සටන් භූමියේදී ඔහු වෙඩි වැදී මියගියා. මම මීට තප්පර ගණනකට කලින් ඔබට කිව්වා ඔහුව පණපිටින් අත්අඩංගුවට ගන්න කිසිදු සැළසුමක් තිබුණේ නැහැ කියලා. පනාගොඩට ගෙනත් මහින්ද රාජපක්ෂට පෙන්නුවා කියලා මොනවද ලැබෙන්නේ.

ප්‍රභාකරන්ගේ මළ සිරුරට මොකද කළේ?
ඒක ආදාහනය කළා
ප්‍රභාකරන් මැරුණා කියන පණිවුඩය ඔබට ලැබුණේ කොහොමද?
මම ඒ වෙලාවේ හිටියේ යුද හමුදා මූලස්ථානයේ භූමියේ නිලධාරීන්ගේන් ඒ පණිවුඩය ඉස්සෙල්ලම ලැබුණේ යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාට .මම දැන ගත්තේ ඔහුගෙන්
ජෙනරාල් ෆොන්සේකාගේ ඒ වෙලාවේ ස්වරූපය කොහොමද තිබුණේ?
ජෙනරාල් ෆොන්සේකා එහෙම ස්වරූප කියන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔහුගේ මුහුණේ මම දැක්කේ සතුටුදායක හැඟීමක්. ඔහු ආරක්ෂක ලේකම්ටත්, ජනාධිපතිවරයාටත් ප්‍රභාකරන් මැරූණා කියන පණිවුඩය දැනුම් දුන්නා.
යුද්ධය අවසන් පණිවුඩය යුද බිමෙන් ලැබුනහම ඔබට ඇතිවූ හැඟීම මොකක්ද?

මගේ යුද හමුදා ජීවිතයේ කුඩා කාලයේදී අපේ වීරයා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. ඔහු හැම වෙලාවෙම අපිට කිව්වා මේ යුද්ධය ඊළඟ පරම්පරාව වෙත භාර නොදීමට වගබලා ගත යුතුයි කියලා. ඔහු අද මෙතන නැති වුණත් ඔහු කියපු දේ කළා කියලා මට හිතුනා. අද අපේ දරුවෝ සාමයෙන් මෙරටේ ජීවත් වෙනවා.
යුද්ධය අවසන් වුණත් සමාජය අදටත් මතු කරන ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පෝට්ටු අම්මාන්ට මොකද වුනේ?
ඔහු මිය ගියා
හැබැයි මළ සිරුර හම්බවුණේ නැහැ
නැහැ. සෑම කෙනෙක්ගෙම මළසිරුර හම්බවෙන්න ඕන නෑ මැරුණ බව ස්ථීර කර ගන්න
ප්‍රභාකරන්ගේ දුව ද්වාරකාට මොකද වුනේ?
ඇය මිය ගියා.
ප්‍රභාකරන්ගේ බිරිය මදිවදිනිටත් වුණේ ඒකද?
මම දකින්නේ ඒ විදියට. යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුදු අටක් වෙනවා.ඔවුන් මිය ගියේ නැත්නම් මොනවා හරි තොරතුරක් එළියට එන්න ඕනෑනේ.
යුද්ධේ අන්තිම මොහොතේ ප්‍රභාකරන් වැලිඔයෙන් පාරක් හදාගන්න උත්සාහ කලාද? එහෙම උත්සාහ කළ නම් යුද හමුදාව කොහොමද ඒක නැවැත්තුවේ?
ඔහු නන්දිකඩාල් වලදී අන්තිමට දැඩි සටනක් දුන් ඒකට. අපි ආරක්ෂක වළලු කිහිපයක්ම දැම්මා.ඒ එකකින් හරි පැනලා නම් අනෙක් එකේදි ඔහුව විනාශ කරන්න අපට පුළුවන් කමක් තිබුණා
යුද්ධයත් සමග යුද හමුදාවේ වීරයෝ බිහි වුණා. අපි මාධ්‍යයෙන් දැකපු වීරයන්ට වඩා සැඟවුණු වීරයොත් ඉන්න ඇති. මොකද ඔබට කියන්න තියෙන්නේ?

මම දකින විදියට මේ සැඟවුණු වීරයන් තමයි සැබෑ වීරයෝ. මොකද වීරයන්ට තමන් වීරයා කියලා කියාගන්න ඕන නැහැ එහෙම කරන්නේ මං පොර ජාතියේ අය. දන්න අය දන්නවා අහවලා මොනවද කලේ කියලා. සැබෑ වීරයන්ට ගෙදරත් හොඳින් ඉන්න පුලුවන්.ගමෙත් හොඳින් ඉන්න පුලුවන්. කොතැනත් හොඳින් ඉන්න පුලුවන්.
අවසාන වශයෙන් ඔබෙන් දැන ගන්න කැමතියි එල් ටී ටී ඊ ය හෝ එවන් සංවිධානයක් යළි අපේ රටේ බිහි වෙන්න ඉඩක් තියෙනවද? එහෙම වුණොත් ඒකට මුහුණ දෙන්න යුද හමුදාව සූදානම්ද?

යුද හමුදාව ඒ ඒ ප්‍රදේශවලින් අඩු කිරීමක් සිද්ධ කරලා නැහැ. හමුදාව ඉන්න භූමියේ යම් සංකෝචනයක් කරලා ඇති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. යුද්ධය දිනපු යුද හමුදාව ම තමයි අදත් ඉන්නේ. නාවික සහ ගුවන් හමුදාත් එහෙමෙයි. යළි යුද්ධයක් ඇති නොවන ආකාරයට අපි කටයුතු කරනවා. මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් යනවා. මේවා හරියට කෙරෙද්දි යළි යුද්ධයක් ඇතිවීමේ අවස්ථාවක් නැහැ. හැබැයි ඕනම සමාජයක එක එක කණ්ඩායම් ඉන්නවා. ආවා කල්ලිය කියලා හිටියට ඔවුන් එල්ටීටීඊ නෙවෙයි. අපි කරන්න ඕනේ ඒ වගේ කල්ලි මැඩලන ගමන් ඔවුන්ව වෙනත් වෙනත් අයට පාවිච්චි කරන්න ඉඩ නොදෙන එක. මම ජනතාවට කියන්නෙ යුද්ධෙ දිනපු හමුදාව ගැන විශ්වාසය තබන්න කියලා.මොකද අතීතයේ පටන් මොන රජවරු සිටියත් රට රැකගත්තේ හමුදාව නිසා.

උපුටා ගැනීම – ජනයුගය පුවත්පත

Post a Comment

Powered by Blogger.