Halloween party ideas 2015


1972 මැයි 22 දින මෙරට ජනරජයක් බවට පත්වීමත් සමගම එතෙක් ඉංග්‍රීසීන් ඇතුළු ලෝකයට “සිලෝන්“ ලෙසින් සහ අපට “ලංකාව“ ලෙසින් භාවිතා වූ නාමයන් වෙනුවට “ශ්‍රී ලංකා“ සමාජවාදී ජනරජය පසුව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය) යැයි නම් තැබීම තමයි, අපේ රටේ “නම“ සම්බන්ධයෙන් අපි කවුරුත් දන්න කියන කථාව.

අපි එතනින් පටන්ගමු.

“සිලෝන් – Ceylon” කොහොමද අපේ රටට ඒ නම හැදුනේ…?
ක්‍රි.පූ. 4වන සියවසේදී පමණ ලියැවුන මහා භාරතයේ දෙවන පොතෙහි 33 හා 51 පරිච්ඡේද වලද, තුන්වන පොතෙහි 51වන පරිච්ඡේදයෙහිද, 7වන පොතෙහි 20වන පරිච්ඡේදයෙහිද “සින්හලාන්“ සහ “සින්හලාහ්“ ලෙස නම්කර ඇත්තේ එවකට සිංහලය නම් වූ මෙම දිවයිනය. ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ (ක‍්‍රි.ව. 325 – 380) අලහාබාද් ප‍්‍රශස්තියේද “සිංහල ද්විප“ වශයෙන් මෙම දිවයිනට නම්කර ඇත. අතීතයේ අරාබි ජාතිකයින් “සීහල දීපය“ යන්න ඔවුන්ගේ ව්‍යවහාරයට අනුව “සරන්දිබ්“ නොඑසේනම් “සෙරන්ඩිබ්“ ලෙස යොදාගෙන ඇති අතර ටොලමි “සලිකේ“ ලෙසද, චීන ජාතිකයන් “සෙලාන්“ ලෙසද, ජපන් ජාතිකයින් “සේරෝන්” නමින්ද “සිංහලය“ උච්චාරණය කර ඇත. ද්‍රවිඩ ජාතිකයින් ”සිංගලම් ” සහ “සීහලම්” ලෙසද ඇතැම් තැනක ”ඊළම් ” ලෙසද නම්කර ඇත්තේ “සිංහලය“මය. 1505දී මෙරටට පැමිණි පෘතුගීසීන් මෙරට හඳුන්වන ලද්දේ “සෙයිලාවෝ“ ලෙසින් වන අතර එම පෘතුගීසි වචනය පසුකාලීනව ඉංග්‍රීසියට හැරවීමේදී එය “සිලෝන්“ බවට පත්වී ඇත. ඒ අනුව “සිංහලය“ කාලයාගේ ඇවෑමෙන් “සිලෝන්“ බවට පත්වන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැකිවේ.


එසේනම් කොහෙන්ද මේ “ලංකාව“ කියන නම අපිට සම්බන්ධවෙන්නේ..?

“ලංකාව“ එසේත් නැතිනම් “ලංකාපුරය“ ගැන කියවෙන අපි දන්න පැරණිතම මූලාශ්‍රය අපට හමුවෙන්නේ වාල්මිකී විසින් ක්‍රි.පූ. 5වන සියවසේදී (ක්‍රි.පූ. 500 – ක්‍රි.පූ. 100) පමණ රචිත රාමායණයෙනි. එහි ඇති බොහෝමයක්‌ ශ්ලෝකවලින් ලංකාවට ඇති දුර, ලංකාවේ පිහිටීම සහ ලංකාවේ ස්‌භාවය ගැන පැහැදිලි විග්‍රහයක් කර ඇත. රාමායණය ඉන්දියාවේදී ලියවීමත්, ඉන්දීයාව හා මෙරට අතර පැවති සම්බන්ධතාත් හේතුකොටගෙන අපේ රටේ ජනවහරට එක්වන රාමායණය මේ වන විට අපේ රටේ ස්ථාන පනහකට අධික සංඛ්‍යාවකට නම් පවා පටබඳින්නට හේතුපාදක වී ඇතැයි අනුමාන කළ හැකිය.

රාමායණයේ එක් අවස්ථාවකදී හනුමා, මහේන්ද්‍රගිරි නම් ස්ථානයක සිට නැගෙනහිරටත්, එතැනින් දකුණටත් ගමන්කර ලංකාවට ලඟාවූ බව සඳහන් වේ. ඒ අනුව “ලංකාව” ඉන්දියාවෙන් දකුණට වන්නට පිහිටා තිබෙන්නට ඇතැයි අපට උපකල්පනයක් ගොඩනගාගත හැකියි.

රාමායණයේ සඳහන් තවත් ශ්ලෝක කිහිපයකින්ම ලංකාවේ ස්වභාවය විස්තර කෙරේ. ඉන් එක් ශ්ලෝකයකට අනුව “ආරක්‌ෂාව සඳහා වූ තුරු වදුලු වලින්ද කෘතීම ආරක්‌ෂක වළලු හතරකින් ද යුත් ජලයෙන් වට වූ කඳු මුදුනක ඉදි කර ඇති ලංකාව යළි බිඳහෙළිය නොහැකි සිතට ත්‍රාසයක් ඇති කරන්නාවූ බලකොටුවක්” ලෙසින් හඳුන්වා දී ඇත. අප අද ජීවත්වෙන ශ්‍රී ලංකාවට මෙම හැඳින්වීම ගැලපේද? අවම වශයෙන් රාවණාගේ රාජ්‍යය වූ ලංකාවේ පැවතියායැයි සඳහන් බිඳහෙළිය නොහැකි බලකොටුවේ (ඡායාරූප අංක 6) හෝ එකළ මාළිගාවක හෝ වෙනත් කුමන හෝ ඉදිකිරීමක නටබුන් අද ඉතිරිව නැත්තේ ඇයි…?

එමෙන්ම රාමායණයේ තවත් ශ්ලෝකයක “මෙම වෙරළේ සිට යෝජන සියයක් පමණ දුරින් වූ මුහුදේ පිහිටි ප්‍රසිද්ධ දිවයිනක් වන ලංකාවේ පිහිටා ඇති මෙම විෂ්වකර්ම (දෙවියන්ගේ ගෘහ නිර්මාණ ශිල්පියා) විසින් සාදන ලද අලංකෘත නගරය, ජම්බුනාඩාවේ පුදුම දොරටුවලින්ද (රන් ජම්මු ගඟේ බෑවුම මත පිහිටා ඇති) රන් ආභරණ සහිත රන්වන් පැහැයෙන් යුත් රන්වන් දෙවොලක් සහ හිරු මෙන් දීප්තිමත් දැවැන්ත බලකොටුවකින්ද යුක්ත විය.” (රාමායණය යුධ කාණ්ඩය 58.20)

වෙරළේ සිට යෝජන සීයක් දුරින්..? යෝජනයක් කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ භාවිතා වුන දුර මැනුම් ඒකකයක්. අපේ යොදුනට සමානයි. යෝජන එකක් කිලෝමීටර් 12.5කට සමානයි. (15ක් කියලත් සඳහන්වෙනවා) ඒ අනුව යෝජන සීයක් යනු අවම වශයෙන් කිලෝමීටර් 1250කි. ඉන්දියාවේ සිට ලංකාවට ආසන්නතම ස්ථානයන්ගේ පරතරය කිලෝමීටර් 32කි. වෙනත් ස්ථාන දෙකක් අතර පරතරය මැන බැළුද උපරිම කිලෝමීටර් හැට හැත්තෑවකට වඩා නැත. එසේනම් රාමායණයේ සඳහන් මේ තරම් දුරකින් පිහිටියායැයි සඳහන් “ලංකාව“, අද අප මේ සිටින ශ්‍රී ලංකාව වීමට කිසිසේත්ම ඉඩක් නැත.

හින්දු සමයේ ස්වර්ණමය යුගය එහෙම නැත්තං ගුප්ත අධිරාජ්‍ය යුගයේදී, එවකට සුපතල ආචාර්යවරයෙකු වූ වරාහමිහිර (ක්‍රි.ව. 505 – 587) විසින් රචිත වෘහත් සංහිතාවේ සඳහන් ශ්ලෝකයක් වෙතට අවධානය යොමුකළොත්…

“අථ දක්ෂිණෙ න ලංකා
කාලාජින සෞරී කීණි තාලිකටාඃ
කාඤ්චි මරුචී පට්ටන
චෙයාඨික සිංහලා ඍෂහා”


එකළ ඉන්දියාවෙන් දකුණු දිශාවට වන්නට පිහිටි දිවයින් කිහිපයක නම් මෙම ශ්ලෝකයේ සඳහන් වේ. ඒ අනුව “ලංකා“ ලෙස සඳහන් එක් දිවයිනකුත් “සිංහල“ ලෙස සඳහන් තවත් දිවයිනකුත් එකළ තිබී ඇති බවට පැහැදිලිවම පෙනෙන්නට ඇත. එමෙන්ම ද්වාපර යුගයේ ජීවත්වුණු වේදව්‍යාස නම් සෘෂිවරයා ලියූ “භගවත් පුරාණය“ නම් ග්‍රන්ථයේද, ජම්බුද්වීපය අවට පිහිටා ඇති කුඩා දිවයින් අටක් පිළිබඳව සඳහන් වේ. ස්වර්ණප්‍රශ්ත, කණ්ද්‍රශුක්ල, ආවර්ථනා, රාමනක, මන්දරා-හරින, පාන්කජන්‍ය, සිම්හල සහ ලංකා එම දිවයින්ය. ඒ අනුව යළිත් වරක් “සිංහලය“ සහ “ලංකාව“ යනු එක දිවයිනක් නොව දිවයින් දෙකක් බව “භගවත් පුරාණය“ ඔස්සේද අපිට තහවුරු කරගත හැකිවේ.

එසේනම් රාමායණයේ සඳහන් ලංකාව ඇත්තේ කොතැනකද.?

එකල “ලංකා“ ලෙස සඳහන් ස්ථාන අඩුම වශයෙන් හතරක්වත් තිබෙන්නට ඇතැයි මාටින් වික්‍රමසිංහ මහතාගේ “පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම“ කෘතියේ සඳහන් වේ. කෙසේවෙතත් “පශ්චිම ලංකාධිපති“ යන විරුදය භාවිතා කළ නැගෙනහිර ඉන්දියාවේ මහානදී නිම්නයේ සෝණපුර රාජධානියේ සිටි කුමරෙකු විසින් ලියා ඇති සන්නස්‌ පත්‍රයක්‌ හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකළ බී.සී. මජුම්දාර් මහතා පෙන්වාදෙන්නේ රාමායණයට අදාල “ලංකාව“ නැගෙනහිර ඉන්දියාවේ සෝණපුර ප්‍රදේශය විය හැකි බවයි. එම ප්‍රදේශයේ ජනකතාවලට අනුවද ඔවුන් තම රාජ්‍යය “පශ්චිම ලංකා“ ලෙස හඳුන්වා ඇතිබවද බී.සී. මජුම්දාර් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. එමෙන්ම දකුණු ඉන්දියාවේ නැගෙනහිර ඝාට්‌ස්‌ කඳුවලට ආසන්නයේ පිහිටි “ලංකා“ නම් තවත් ප්‍රදේශයක් පිළිබඳවද අනාවරණය වී ඇත. (ඡායාරූප අංක 4 “ලංකාව ඉන්දියාවේම ප්‍රදේශයක් බව පෙන්වා දෙන සිතියමකි“)

සියල්ලටම වඩා, අදටද “ලංකා“ ලෙසින් සඳහන් දිවයිනක් මේ ආසියාකරයෙන්ම අපට හමුවේ. ඒ මැලේසියාවේ “ලංකාවි“ දිවයිනයි. එය කුඩා දිවයිනක් වුවද උස් කඳුවැටි, දියඇලි, ගංඟා ආදීන්ගෙන් සමන්විතය. හරියට නිකං රාමායනයේ සඳහන් ලංකාවේ ඇති ලක්ෂණ “ලංකාවි“ දිවයිනේ තිබෙනවාක් මෙන්ය. ඒත් මැලේසියාව පැත්තට කොහොමද රාමායණය අදාල වෙන්නේ.?

ඔබ දන්නවාද?
රාමා, සීතා, රාවණා සිටි රාමායණය ඉන්දියාවේ හෝ අපගේ සංස්කෘතීන්ට වඩා තදින් ඉන්දුනීසියාවේ සංස්කෘතියට බලපා ඇති බව. (ඡායාරූප අංක 1 “රාමායණයේ සඳහන්, හනුමාගේ පිරිස විසින් ලංකාව දක්වා ගල් පාලමක් ඉදිකරන ආකාරය දැක්වෙන තායි සිතුවමකි“) අතිමහත් මුස්ලිම් ජනතාවක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටක සංස්කෘතියට රාමායණය වැනි වීර කාව්‍යයන් එල්ලකර ඇති බලපෑම එක අතකට පුදුමාකාරය. ඉන්දුනීසියාවේ රූකඩ කලාව සඳහාද පාදකවී ඇත්තේ මෙම වීර කාව්‍ය බව අවධානයෙන් ඒ පිළිබඳව විමසා බලන්නෙකුට පහසුවෙන් වටහාගත හැකිය. එමෙන්ම 1961 වර්ෂයේ සිට සෑම වසරකදීම ඉන්දුනීසියාවේ පැවැත්වෙන රාමායණ මුද්‍රා නාට්‍යය, ලෝකයේ අඛණ්ඩව පැවැත්වූ දීර්ඝතම වේදිකා රංගනය ලෙසින් ගිනස් පොතටද ඇතුලත් වී ඇති බව පැවසේ.

ඉන්දුනීසියාවේ පමණක් නොව, “රාමායණය“ කාම්බෝජ, තායි සහ බැබිලෝනියානු (වත්මන් ඉරාකයේ) සංස්කෘතීන් තුලද මුල් බැස තිබේ. (ඡායාරූප අංක 2) ඉරාකයේ කැනීම් වලින් රාම දෙවොලක් සොයාගෙන ඇත. (ඡායාරූප අංක 5) එමෙන්ම එකළ බැබිලෝනියාවේ බොහොමයක් ගල් කැටයම්වලින්ද රාමායණයේ ඇතැම් සිදුවීම් පිළිබිඹු වේ. (ඡායාරූප අංක 3)

මේ සියළු කරුණු විමසා බැලීමේදී අපට එළඹිය හැකි නිගමනය නම්, ක්‍රි.පූ. 5වන සියවස පමණ වන විට ඉන්දියාව අවට සිංහලය ලෙසින් එක් දිවයිනක් හා ලංකාව ලෙසින් තවත් දිවයිනක් තිබී ඇති බවයි. ඒ අනුව මහාභාරතයේ පවා සඳහන්වන සහ එකළ “සිංහලය“ “සිංහලාන්“ “සලිකේ“ “සෙලාන්“ “සෙරන්ඩිබ්“ “සීහලම්“ “සිලෝන්“ ලෙසින් හඳුන්වා ඇත්තේ අප අද ජීවත්වන රට බව පැහැදිලිය. එමෙන්ම රාමායනයේ සඳහන් “ලංකාව“ නම් දිවයින මේ රටයැයි වරදවා වටහාගැනීමක් (එය ඉන්දියාවෙන්ම කළ හැඳින්වීමකි) අතීතයේ සිදුව ඇති බව පැහැදිලිය.

අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ… මෙම මතය තරයේ බැහැර කරන පිරිස, දැවැන්ත වඳුරෙක් හිමාලයේ කන්දක කොටසක් කඩාගෙන ලංකාවට ඉහලින් පියඹා යද්දී එම කන්දෙන් කොටසක් බිමට වැටුනු තැන අද “රූමස්සල“ ලෙස හැඳින්වේයැයි පැවැසුවහොත් එය තරයේ විශ්වාස කරති.

පොතපත හා අන්තර්ජාලය ඇසුරෙනි
ප්‍රදීප් ප්‍රේමලාල්


*මෙම ලිපිය කතෘවරයාගේ අවසරයකින් තොරව උපුටා පළ නොකල යුතුය.

Post a Comment

Post a Comment

    Powered by Blogger.