සජ්ජා තාත්තෙක් වෙච්ච කතාව කියල ටික දවසකට බ්ලොග් ලෝකෙන් අයින් වෙන්න හැදුවත් පුරුද්දට සහ මේකට ඇති ලැදියාව නිසාවට පොඩි ඉස්පාසුවක් ලැබුණු ඇසිල්ලක ආයෙමත් මේ සම්බන්ධයෙන් යමක් කොටන්න හිතුන. පියවරුන්ගේ සංගමයට බොහොම ලෙන්ගතුකමෙන් එක්කාසු කරගන්න කතාකරපු හැමෝ දෙනාටම වගේම සුපුරුදු දයාබරත්වයෙන් සුභපතපු හැමෝටම ආයෙත් පාරක් ස්තුති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. හැමෝටම ස්තුතියි!
මගේ ආදරණීය බිරිඳත් එක්ක එක වහලක් යටට වෙච්ච දවසෙ ඉඳන් හුරතල් පොඩි එකෙක් ගෙදරට ගේන්න අපි දෙන්නට පුදුම හදිස්සියක් තිබ්බෙ. දැනට අවුරුදු 3කට කිට්ටු වෙච්ච අපේ දීගෙ කාලසීමාව ඇතුළත සති තුනකට කළින් ඉපදුනු පුංචි කෙළිපොඩ්ඩ දිහා ඇස් පිය නොහෙළා ආදරයෙන් බලාගෙන දරු සුරතල් විඳින්න අපි දෙන්නට අවස්ථාව ලැබිල තියනවා. ඒ නමුත් අපේ පුංචි කෙල්ලට ඊට කලින් සහෝදරියෝ දෙන්නෙක් සහ ස්ත්‍රී පුරුෂ බව පවා තීරණය නොවුනු වැඩිමහල් සොයුරෙක් හෝ සොයුරියක් ඉඳල තියනවා. මගේ සහ බිරිඳගේ ශරීර වල යම් සංකූලතා හේතුවෙන් හෝ අපි දෙන්නගෙ නොලැබීම නිසාවට ඒ තුන්දෙනා අපට නැති උනා.අපේ ජීවිත වල අතිශය පෞද්ගලික කාරණා මේ ආකාරයට හෙළිකරලා බ්ලොග් එක හිට් කරගන්න කාලකන්ණි අදහසක් මගේ නැති බව මේක කියවන හැමෝම දන්නවා.ඒත් මේ දේවල් කියන්න හෙළිකරන්න හිතට ආවෙ මේ සම්බන්ධ යම් අදහසක් , මේ ක්ෂේත්‍රයේ තියන මගඩි ගැන දැනුවත් වීමක් මේක කියවන හැමෝටම වැදගත් වේවි කියල හිතුනු නිසාවට. හත් පාරක් ගහෙන් වැටිච්ච එකා “ගස් වෙදෙක්” වෙනවා කියල කතාවක් තියනවනෙ. ඒ වගේ තමා මේ කියන්න යන කාරණා සම්බන්ධයෙන් මට සහ මගේ බිරිඳට තියන අත්දැකීමුත් එක්ක ඕනෙ නම් අපි දෙන්නට උපදේශන සේවයක් උනත් පටන්ගන්න පුළුවන්.
බබෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තට පස්සෙ ඒ බව ප්‍රදේශයේ මිඩ්වයිෆ් නෝනව දැනුවත් කළාම උන්දැ ඇවිත් ලියල දෙනව කාඩ් එකක්. බොහොම බැරෑරුම් කමට කරුණු කාරණා අහල ඒකෙ එව්ව සටහන් කොරල “මේක නැත්තං ළමයට ඉපදෙන්නත් තහනම්”විදියේ පඬි ටෝක් ටිකක් කාරිය දීල ප්‍රදේශයේ ගර්භනීය සායනයට අනිවාර්යෙන් සහභාගී වෙන්න කියල නියමයක් දාල “ෆෝලික් ඇසිඩ් ටැබ්ලට්” දවසගානෙ ගන්න කියල දැනුවත් කරල එතෙන්දි හම්බවෙමු කියල උන්දැ යනව යන්න. ඔය අතරතුරේදි ප්‍රසව සහ නාරිවේදී විශේෂඥ වෛද්‍ය වරයෙක් චැනල් කොරගන්න එක තමුන්ගෙ වැඩක්. උන්දැව හම්බවෙලා ෆාමසියෙන් ගන්න දෙන ගිනිගණන් යකඩ, කැල්සියම් පෙති වල සමහරක් වර්ග වලට ෆෝලික් ඇසිඩ් අන්තර්ගතවෙලා තියන වර්ගත් තියනවා. ඒ සම්බන්ධව මිඩ්වයිෆ් උන්දැට කිව්වොත් නොක්කාඩුවට වගේ බලල “එකට කමක් නෑ ෆෝලික් ඇසිඩ් බොන්න” කියල කියනවා අහගන්න පුළුවන්. මන්තරේ ජපකොරන්නා වගේ “ෆෝලික් ඇසිඩ් ෆෝලික් ඇසිඩ් ” කියාගත්තගමන් ගෙදරට එන උන්දැලාට ලොකු දොස්තර මහත්තුරු දෙන බේත් ඇලජික්. සමහර විට උන්දැල ඒ ගැන දැනුවත් නැතුව ඇති.
ගැබිණි සායනයට ගියාම එතන අතුගාන එකාගේ ඉඳන් දොස්තර වෙනකල්ම ලොකුකම් කෙනහිලිකම් වලට මූණ දෙන්න බඩකුත් උස්සගෙන ඉන්න වෙන්ඩ අම්මලාට සිද්ධවෙනව.අටෙන්ඩන්ලා , නර්ස්ල “ලෝඩ් පකීර්ල” වගේ මේස ගාව වාඩිවෙලා අතෙන්ට යන්න,මෙතෙන්ට යන්න, අරක අරගෙන එන්න, මේක කරගෙන එන්න කියල විධාන දිදී දවසම එතන බඩදරු අම්මලට සැර දම දමා රස්තියාදු කරවන එක ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ක්‍රමේ වෙන්නැති.බඩවලුත් උස්සගෙන තුනටියට අතතියාගෙන බොහොම අමාරුවෙන් සායනේ එහාටයි මෙහාටයි ඇවිදින අම්මල දැක්කම දුකේ බෑ.
අපේ අල්ලපු පොඩි නගරයේ ඉස්පිරිතාලෙ ගැබිණි සායනේ භාරව හිටපු දොස්තර කමටත් නිගාවක් වෙච්ච ” කාලකන්ණි දොස්තරයා ” සම්බන්ධ අපිට මූණ දෙන්න වෙච්ච කාරනාවක් මේ එක්කම කියල දාන්නම්. උගේ සායනෙට යනකොටම වටේපිටේ ළමයි හම්බවෙච්ච ගෑණු උදවියගෙන් ඌ ගැන ඒ තරම් හොඳ කතා නෙවෙයි අහන්න ලැබුනෙ. “දොස්තර මහත්තය හරි සැරයි, පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑ බණිනවා” විදියේ ආකල්ප තමයි ඒ උදවියට තිබුනේ. ඕන මගුලක් වෙද්දෙන් කියල අපි දෙන්නත් ගියා සායනේ දවසෙ ඉස්පිරිතාලෙට. අම්මලා සෑහෙන දෙනෙක් එතන හිටිය. තාත්තලව ඇතුලට ගන්නෙ නෑ. (අපි ඒ වැඩේට සම්මාදම් වෙලා නැති නිසා වෙන්ටැ) හැබැයි ඉතිං ප්‍රයිවට් හොස්පිටොල් එකේ ලොකු දොස්තර මහත්තය නං සීසර් කොරනවද කියල අහල, කවදද ගන්න ඕන? බබාව ගන්න නැකතක් තියනවද? කියල අහල ඔයාටත් තියටර් එකට එන්න පුළුවන් කැමරාවකුත් ගේන්න පුළුවන් කියලත් කිව්ව. ඒ සෙල්ලං කොහෙද ආණ්ඩුවෙ එව්ව වල. කිලිනික් එකට අපේ උන්දැට යන්න කියල මං පාරට වෙලා ඉන්න උනේ ටික වෙලාවයි. මෙන්න අපේ උන්දැ අඬාගෙන එනව. “යං සුදූ ගෙදර” කියාගෙන. ඇහුවට ඇහුවට කියන්නෙ නෑ මොකද කියල. හිටින්කෝ අරුන්ගෙන් අහගන්න කියල එතෙන්ට යන්න හදනකොට අතේ එල්ලිලා මොරදෙනව. සෙනගත් බලාගෙන. ඕන මගුලක්, ඔයාට මුකුත් ප්‍රශ්නයක් නෑ නෙ. එහෙනං යමු ගෙදර කියල ගෙදර ආවාමයි විස්තරේ කිව්වෙ. වැඩකරන සේවා ස්ථානය , තනතුර කාරිය අහල VOG කවුද කියලත් අහල දොස්තරය ලොකු ටෝක් ටිකක් දීල.ලොකු ලොකු දොස්තරලා ඇල්ලුවට වැඩක් නෑ , අපි ගාවට එන්න වෙනවා අන්තිමට , හැමදාම ක්ලිනික් එන්න ඕන අනිවාර්යෙන්, ඔයගොල්ල හිතාගෙන ඉන්නෙ සල්ලි විසිකලාම ඔක්කොම හරි කියල, වගේ නානාප්‍රකාර පොර ටෝක් දීල. අපේ උන්දෑ ඊළඟ වතාවේ ක්ලිනික් එකට එන්න විදියක් නෑ ඩොක්ටර් අනිවාර්යෙන් එදාට වැඩට යන්න ඕන, ඊටපස්සෙ වතාවේ ඉඳල දිගටම එන්නම් කිව්වම අරූ අපේ මායියට හොඳටෝම බැනල. ඒ පාර තමයි මුන්දෑ අඬාගෙන ඇවිත් තියෙන්නෙ.
ආපහු ගිහිං මුගේ හොම්බට දෙකක් අනිනවද එහෙමත් නැත්තං මොකද්ද ගන්න ක්‍රියාමාර්ගේ කියල හිතාගෙන එලියට බැස්සෙ යන්නෙපා කියල ගෙදර මිනිස්සු දෙස් දෙවොල් තියද්දි. ඉස්පිරිතාලෙට යනගමන් මං කල්පනා කළේ මූට හොම්බට ඇන්නොත් මොකක් වෙයිද කියල.අනිවාර්යෙන් කූඩුවෙ ලගින්න වෙනව. හරියට හරි. යනවා පොලිසි. අදිනවා මූට ලෙඩක් නීතියෙන්ම. ගියා පොලිසියට . දරුවකු ලැබීමට සිටින මවකට බැනවැදී ඇගේ මානසිකත්වය බිඳ දැමීම යටතේ ලිව්වා ඇන්ට්‍රියක්. ඇන්ට්‍රි නොම්මරත් එක්ක ඒකෙ පොටෝ කොපියකුත් අරගෙන ආව ගෙදර. ගෙදර ආවාමයි මුගේ තව තව කෙළි එළියට ආවේ. වටේපිටේ ගෙවල් වල ළමයි හම්බවෙන්න ඉන්න සහ ලැබුණු අම්මලට අපේ අම්ම මේ සිද්දිය කියල. මූ නොම්මර එකේ කොබෙක්. අම්මලාගේ බඩ පරීක්ෂා කරන වෙලාවට මූ ෆෝන් එක කණේ ගහගෙන කෝල් එකක ඉන්න මුවාවෙන් අනවශ්‍ය තැන් අතපතගානවලු. උඩ ගෙදර මල්ලි මූට ඔය සීන් එක නිසා ගහන්නත් ගිහිං. ඔය දේවල් මිනිස්සු හංගගෙන ඉන්නෙ. ලැජ්ජාවට කියන්නෙ නෑ. ඒ නිසාවට මේ වගේ ගස් බල්ලො බාධාවක් නැතුව දිගටම තමන්ගෙ ලිංගික අසහනේ , පිටකරගන්නව. ඔය ඔක්කොම ටික දාල පොලිස් පැමිණිල්ලේ කොපියකුත් එක්ක දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ අදාළ තැන් ඔක්කොටම ලිපි මගින් පැමිණිලි කළා. මාස දෙකක් ගියතැන අසහන දොස්තරයට ස්ථාන මාරුවක් ලැබිල කොහෙටහරි මකබෑවුණා. අලුත් ඉස්පිරිතාලේ ඉඳන් ඌ පරණ පුරුදු දේවල් ආයෙමත් කරගෙන යනව ඇති.
තවත් නමගිය නාරි හා ප්‍රසව දොස්තර කෙනෙක් හිටිය (දැනුත් ඉන්නවා) ස්කෑන් යන්ත්‍රයේ ආධාරයෙන් අනියම් සංසර්ගයේ යෙදෙන. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍රය මගින් කුසේ ඉන්න දරුවා නිරීක්ෂණය කිරීම තුලින් දරුවාගේ සංකූලතා වගේම මවගේ සංකූලතා, දරුවාගේ නිරෝගී බව සහ ගැහැණු පිරිමි බව නිර්ණය කිරීමට නවීන තාක්ෂණය නිසා දැන් අවස්තාව උදාවෙලා.ගර්භාෂයෙන් බැහැරව කළලය ස්ථාපිත වීම වගේ සංකූලතා හඳුනාගැනීම සහ දරුවාගේ නිරෝගීබව නිර්ණය කිරීම තමයි මෙහි ප්‍රධානම ප්‍රයෝජනය. ස්කෑන් යන්ත්‍රයේ ප්‍රධානව මම දන්නා විදියට ප්‍රෝබ (probes) දෙකක් තියනවා ( ඔය දෙකට කියන නම් මම දන්නෙ නෑ . බඩේ ජෙල් වර්ගයක් ආලේප කරලා ඒ මත තබන උපකරණය සහ යෝනි මාර්ගයෙන් ඇතුළු කරන උපකරණය) ඔය දෙකෙන් යෝනි මාර්ගයට ඇතුළු කරන ප්‍රෝබය මගින් මම දන්නා තරමින් ඉතා පැහැදිලි දත්ත ලබාගන්න පුළුවන් වගේම නොයෙකුත් සංකූලතා හඳුනාගැනීම ලෙහෙසියෙන් කරන්න පුළුවන්. ඒ ප්‍රෝබය ( නම වැරදි ඇති මම කියන)කොන්ඩමයකින් ආවරණය කරලා තමයි භාවිතා කරන්නෙ (ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පැතිරීම වළක්වන්න). එම උපකරණය සෑම ස්කෑනින් එකකදීම භාවිතා කරන්නෙ නෑ. නමුත් මම මුලින් සඳහන් කරපු දොස්තර වරයා එන හැම රෝගියාම පරීක්ෂා කරන්නෙ ඒක භාවිතා කරමින්. ඔහු එමගින් යම් මානසික වින්දනයක් ලබනවා ඇතැයි සැක කිරීමට අසා දැනගත් ආරංචි ඕපදූප ප්‍රමාණවත්. මේ හැම අවස්ථාවකදීම අපි හැමෝම අසරණයි. කිලිනික් එකකට, ස්කෑන් එකකට ගියාම තමුන්ගෙ මනුස්සයව එලියට දාල කර්ටන් එකකින් වහල ඔක්කොම ඉවරවෙලා අන්තිමට මොනිටර් එකට එබෙන්න විතරල් ඇතුලට ගන්නකල් දොස්තර සහ නර්ස් ගෑණු හැසිරෙන විලාසය දැක්කම හිතට එන කුණුහරුප ගැන මෙතන ලියන්න බෑ. මම නෙවෙයිද ළමය ජාතක කරන්න සම්මාදම් වෙලා තියෙන්නෙ, දොස්තරයි නර්ස්ලයි විතරද අපේ උන්දැගේ ඒ අවයවේ දැකල තියෙන්නෙ, අපේ උන්දැට බබෙක් හම්බුනේ සුදූ ඇත් පැටියෙක් ඇඳ වටේ කැරකුණු නිසාද කියලත් ඒ වෙලාවට හිතෙනව.
ආණ්ඩුවේ ඉස්පිරිතාල වල සුදූ රෙද්දකින් වහපු මිණී අපි දැකල තියනව. ආණ්ඩුවේ ඉස්පිරිතාල මෝචරි ගාවට මල්ශාලා වල නම් ගහපු හර්ස් යනව එනව අපි දැකල තියනව. පුද්ගලික රෝහල් වල? එහෙම දැකල නෑ නේද? මොකද ඒ? ඒවා වලදී මිනිස්සු මැරෙන්නෙ නැත්ද? මැරෙනවා.ඒත් මිනී බේස්මන්ට් එකට ගෙනියන්න වෙනම පිටිපස්සෙ ලිෆ්ට් එකක් තියනවා. ඒව ගන්න මල්ශාලා වල නම ගහපු වාහන එන්නෙ නෑ. එක්කො ඉස්පිරිතාලෙ රථයකින් බොඩිය මල්ශාලාවට ගෙනිහින් දෙනවා. එහෙමත් නැත්තං නම නොගහපු වාහනයක් මල් ශාලාවකින් ඉස්පිරිතාලෙට එවනවා. ඒ දේවල් වල වැරද්දක් මම දකින්නෙ නෑ. හැබැයි මතක තියාගන්න රෝහල් රථයකින් මිණිය මල් ශාලාවට ගෙනිච්චොත් ඉස්පිරිතාලෙ නම රකින්නත් අපි ගෙවන්න ඕන.
ළදරුවෙක් මේ ලෝකෙ එළිය දැකල එක හුස්මක්හෝ අරගෙන මැරුණොත් ඒත් ඒ දරුවාගේ උපත ලියාපදිංචි කළයුතුයි. උප්පැන්න සහතිකය සහ මරණ සහතිකය කියන දෙකම එකපාර ලියාපදිංචි කරන්න වෙනව. දහසක් දුක්, සිතුවිලි හිතේ පෙරලි කරද්දී උප්පැන්න සහතිකයේ මියගිය දරුවාට නමක් යොදන කාරණාවේ ඉඳන් මීමුත්තා ලංකාවේ උපන්නෙක්ද කියන කාරණාව වෙනකල්ම පෝරම පුරවල මරණ සහතිකේ පොරමයත් පුරවල මල්ශාලවට දුවල ඒ කටයුතු කරන විදියත් ඔලුවෙ හොල්මං කරද්දී මිනිහෙකුට පිස්සු නොහැදුනොත් ඒකත් පුදුමයක්.එක ළඟ දවස් දෙකකදි ඔය අත්දැකීමට මට මුහුණ දෙන්න සිද්ද උනා. පෝරම දෙක පුරවල ඉවරවෙලා “මේකට ගෙවීමක් කරන්න ඕනැද?” කියල ඇහුවම එතන හිටපු (හිතක් පපුවක් නැති) රෙජිස්ටාර් “සන්තෝසෙන් දෙන දෙයක් බාරගන්නව” කිව්වම දුන්න රුපියල් දාහ ඌ බොහොම සන්තෝසෙන් සාක්කුවෙ දාගත්ත. දෙවැනි දවසෙ මං ඒ ගැන අහන්න ගියෙ නෑ. මේ ගැන සඳහන් කලේ ඒ වගේ දේවල් රෙජිස්ටර් කිරිල්ල ඒ වගේ වේලාවකදී කොයි තරම් අමානුශිකද කියල හිතන්න සලස්වන්න. මම නම් හිතන්නෙ ඒ වගේ විශේෂ අවස්තා වලදී ඒ දේවල් ඉස්පිරිතාලෙන්ම කරන්න ඕන කියලයි.
දහඅටේ පෙට්ටිය කියල එකක් අහල තියනවද? මල්ශාලා වල පොඩි දරුවන් මිහිදන් කරන්න යොදාගන්න පුංචි පෙට්ටියට කියන නම තමයි ඒ.. ඒකෙ දිග අඟල් දහඅටක් විතර නිසා එහෙම කියනවද මම දන්නෙ නෑ. රජයෙන් පඩියක් ගෙවද්දිත් ඒ පෙට්ටිය වළලන්න පස් පිඩලි දහයක වළක් කපන්නත් පගාව ඉල්ලන මිනිස්සු ඉන්න රටක් මේක.
අපේ ජාතිය වඳ වීගෙන යන ජාතියක්. ඒ නිසා පුංචි පවුල රත්තරං කතා නවත්තල පුළුවන් තරම් පරපුර බිහිකරන්න කියල දැන් දැන් කට්ටිය කිව්වට ඉස්පිරිතාල, ක්ලිනික් වලදී බඩදරු අම්මලාට සලකන විදිය දැක්කම ළමයි හදන්න හිතෙන්නෙ නෑ. ඇටෙන්ඩන් ගෑණු අම්මලට දෙන ත්‍රිපෝෂ පැකට් දෙක දෙන්නෙ හරියට නිකං ඒවා උන්ගෙ දේවල් වලින් ගෙනත් දෙනව වගේ. ඉස්පිරිතාල කියන්නෙ දේවාල නෙවෙයි. දොස්තරවරු කියන්නෙ දෙවිවරු නෙවෙයි. සල්ලි ගෙවන මාතෘ නිවාස වල තත්වයත් අර විදිය නම් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල තත්වය කොහොම ඇත්ද? ඒ ගැන අයෙත් වතාවක් ලිපියක් ලියන්න ඕන.
දිග වැඩියි හොඳටෝම … තවත් කියන්න කාරණා ගොඩක් තිබුණත් හෝද හෝද මඩේ දානව වගේ මගේ හිත මමම රිද්දගන්නෙ නැතුව මේක මෙතනින් ඉවර කරන්නම්. ඔය කියපු විස්තර ටික කිව්වෙත් ඔය දේවල් වලින් කට්ටිය යම් දැනුවත් වීමක් ලබයි කියල හිතුනු නිසාවට. දවසට පැය තුනක් විතර නිදාගන්න හම්බවෙන මේ දවස් ටිකේ ලැබුණ පුංචි ඉස්පාසුවක මේක එක හුස්මට ලියල දැම්මෙ. ආයෙත් වතාවක් කට්ටියටම ස්තුති කරන ගමන් මෙතනින් නවතින්නම්.පුංචි කෙළිපැටික්කි සනීපෙන් ඉන්නවා…
Post a Comment