ඒ ඉකුත් අගෝස්තු මස 24 වනදාය. දීපිකා වෙනදා මෙන් නිවසේ විසූවේ සඳුදාට (28 වනදා) පැවැත්වෙන උසස් පෙළ විභාගයට නියමිතව තිබු විෂය පිළිබඳ පොත්පත් කියවමින්ය. පැල්මඩුල්ල ධම්මාලෝක මහ විදුහලේ කලා විෂය ධාරාවෙන් ඇය උසස් පෙළ විභාගය ලියමින් සිටියාය. ඇගේ මේ ශක්තිය පිටුපස සිටියේ ඇගේ වයෝවෘද්ධ පියා වූ ධනපාලය. කුලී වැඩකරමින් මුදලක් සොයාගත් ඔහු ඉන් සතයකින්වත් රා අරක්කු සිගරැට් බිව්වේ නැත.
පුළුවන් තරමින් තම එකම දියණියගේ අනාගතය වෙනුවෙන් ඔහු ඒ සියල්ලම කැප කළේය. ගමේ පන්සල සමඟ සමීපව කටයුතු කරමින් දියණියට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඔහු ක්‍රියාකළේ සිය බිරිය දිවි නසා ගත් දා සිටය.
බටේකුඹුර ශ්‍රී ගොඩකුඹුර ඇත්දාන කඳුපාමුල මොවුන්ගේ පුංචි පැල්පත පිහිටියේය. එතැනට ගොස් අවට බැලු විට වෙනත් නිවෙසක් පෙනෙන්නට නැත. ගෙවල් පිහිටියේ ද ඈතින්වය. ඉතා දුෂ්කර ගමනකින් පසු කඳු පාමුල ඇති ඇගේ නිවෙසට ගොඩවැදිය හැක. කුස්සි කෑල්ලක් කුඩා සාලයක් සමඟ ඇති කටු මැටි ගෙය තුළ දිපිකාත් ඇගේ පියාත් දිවි ගෙවුවේ කාටත් කරදරයක් හිරිහැරයක් නොවන ලෙසින්ය. සෑම දිනකම උදෑසන හත පමණ වන විට ධනපාල රැකියාව සඳහා ගෙදරින් පිටව යයි. වැඩට යන පියාට උදෑසන කහට කෝප්පයක් සැකසුවේ දිපිකාය. කන්නට වෑංජනයක් සමඟ බතක් හදන්නේ දිපිකාය. මව නැති වූ දා සිට ගෙදර අම්මා වුයේ ඇයය.
එදා සුපුරුදු පරිදි කුලී වැඩක් කරන්නට ධනපාල ගෙදරින් පිටව ගියේ දෝණියන්දෑ නිවසේ සිටියදීය. මේ ඔවුන්ගේ සුපුරුදු දින චර්යාවයි. එලෙස ගිය ධනපාල යළි ගෙදරට ආවේ දහවල් දෙකයි තිහට පමණය. ඒ ලැබුණු පණිවිඩයක් නිසාය. ගෙදර දොර විවර කර තිබෙනු ධනපාල දුටුවේය. ඒ තුළින් ගෙය තුළට පිවිසි ඔහු දුටුවේ අති බියකරු දර්ශනයක්ය. ධනපාල මරළතෝනි දුන්නේය.
“එදා මම තේ වත්තේ කුලී වැඩට ගියා. එක දිගටම දවල් වෙනකම් වැඩ කරලා ගෙදර එන්න හදන වෙලාවේ දුවත් එක්ක යාළුවෙලා හිටිය ලාල් පුතා කෝල් එකක් දුන්නා. මාමේ නංගිගේ ෆෝන් එකට ගත්තම පිරිමියෙක් හලෝ හලෝ කියනවා කතා කරන්නේ නැහැ කියලා. ඒ ගමන්ම මම ගෙදර දුවගෙන ආවා. ඉස්සරහ දොර වහලා තිබුණා. පිටිපස්සේ දොර බාගෙට ඇරලා තිබුණා. දොර ඇරගෙන ඇතුළට ඇවිත් බලද්දී මගේ රත්තරන් දුව ඇඳ උඩ උඩු බැලි අතට වැටිලා හිටියා. එයාගේ ඇඳුම් ටිකත් අයින් වෙලා තිබුණෙ.් බෙල්ලෙන් ලේ ගලලා තිබුණා. මම දුවලා ගිහින් ළඟම ගෙදර මද්දුටයි රමණි අක්කටයි කතා කරලා එයාලත් එක්ක ඇවිත් දුවගේ ඇඟට රෙද්දක් දාලා වැහුවා. ඊට පස්සේ ගොඩකුඹුර පන්සලේ තුසිත හාමුදුරුවෝ සිද්ධිය පොලිසියට කියලා තිබුණා.”
ධනපාල සිද්ධිය මුලින් දුටු අයුරු හැඬු කඳුළින් කියන්නට විය. එයාත් විසිහතරවනදා දහවල් 3.25ට පමණ රක්වාන පොලිසියට ලැබුණේ නිර්නාමික දුරකථන ඇමතුමක්ය. ඉන් කියැවුණේ ඇත්දාන බටේයාය ගමේ නිවෙසක් තුළ කාන්තාවක් මරා දමා ඇති බවය.
ස්ථානාධිපතිවරයා සිද්ධිය වහා රක්වාන පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක මහතාට ද දැනුම්දෙනු ලැබිණි. වසර තිස් ගණනකට ආසන්න කාලයක් අපරාධ විසඳීම හා රාජාකාරි කටයුතු පිළිබඳ මනා පළපුරුද්දක් ඇති සහකාර පොලිස් අධිකාරිවරයා ඒ මොහොතේම ක්‍රියාත්මක විය. මේ පිළිබඳ රත්නපුර බාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කළ හෙතෙම ස්ථානාධිපතිවරයාට අවශ්‍ය උපදෙස් දෙමින් කියා සිටියේ කණා්ඩායමක් වහා සිද්ධිය වූ තැනට යවන ලෙසය. ඒ අනුව ක්‍රියාත්මතක වූ ස්ථානාධිපතිවරයා නිර්නාමික දුරකථන පණිවිඩයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා රක්වාන පොලිසියට අනුයුක්ත උපපොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ඇත්දාන බටේයාය ප්‍රදේශයට පිටත් කර යැවීය. පසුව දැනගන්නට ලැබුණේ ලැබුණු තොරතුර නිවැරැදි බවය.
සිද්ධිය වූ තැනට ගිය නිලධාරීන්ට දකින්නට වුයේ නිදන කාමරයේ ඇඳ මත තරුණියක් ගෙල කපා ඝාතනය කර ඇති අයුරුය. ඇගේ යටි කය නිරුවත්ය. ගෙලෙහි කැපුම් තුවාලයකි. දෑත් ගැට ගසා ඇත. වහා අපරාධ ස්ථානය වටා ආරක්ෂාව තහවුරු කළ නිලධාරීන් සිද්ධිය ස්ථානාධිපතිවරයාටත් සහකාර පොලිස් අධිකාරිවරයා වෙතත් දන්වා සිටියේය. සහකාර පොලිස් අධිකාරි නිශ්ශංක සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කිරීමට සෙසු නිලධාරින්ට උපදෙස් දුන්නේ ඉන් පසුවය.
ඝාතනයට ලක්වී සිටින්නේ 1998.07.11 දින උපත ලැබු වයස අවුරුදු 19ක් වන වසුම්පුරගේ දීපිකා පි‍්‍රයදර්ශනී නමැති පාසල් ශිෂ්‍යාවකි.
සිද්ධිය වූ ස්ථානයේ සිට රක්වාන පොලිස් ස්ථානය පිහිටියේ කිලෝමීටර 22ක් පමණ දුරින්ය. පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර අටක් මාදම්පේ දෙසට ගොස් හමුවන ස්ටෝරු කඩේ හංන්දියෙන් වමට හැරී ඇත්දාන මාර්ගයේ තවත් කිලෝමීටර 7ක් ගිය විට ඇත්දාන හන්දිය හමුවේ. එතැනින් කොහොඹකන්ද බටේයාය මාර්ගයේ තවත් කිලෝමීටර 7 පසුකරද්දී බටේයාය පාලිතගේ නිවෙස හමුවේ එය පසුකරනවාත් සමඟ දකුණට බෑවුම තියෙන අඩි පාරේ මීටර් 100ක් පමණ පැමිණිවිට දිපිකාගේ කුඩා පැල්පත හමුවනු ඇත. නිවෙස සාලයකින්, නිදන කාමරයකින් හා මුළුතැන් ගෙයකින් සමන්විතය. පිටවීමට මුළුතැන් ගෙය අසල දොරකි. සාලයට ඇතුළු වූ විට දකුණු පසින් ප්ලාස්ටික් පුටු දෙකකි. සාලයේ පොත් බෑගයක් තබා ඇති ප්ලාස්ටික් ටීපෝවකි. කුඩා කැබිනෙට්ටුවේ පියන් විවර කර ඇති අතර එහි තිබු රෙදි පිළි ඇද දමා තිබේ. දකුණු පසින් ඇති නිදන කාමරයේ වූ ඇඳමත උඩුබැලි අතට නිවසේ විසූ තරුණිය මරා දමා තිබේ. ඇගේ දෑත් ගැට ගසා ඇත්තේ කළු පැහැති බ්‍රෙෂියර් එකකිනි. මුහුණ වැසෙන සේ නිල් පැහැති පොරොවනයක් දමා තිබිණි. යටිකය නිරුවත්ය. ඇඳුම් ගලවා පාදය අසල දමා ඇත. බතික් සරම් කැබැල්ලක කොටසක් ද පුටුවක් මත තිබී නිලධාරීන්ට හමුවිය.
සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරැඹි අතර සිද්ධිය වූ තැනට සොකෝ නිලධාරින් ඇඟිලි සලකුණු නිලධාරින් මෙන්ම නිල සුනඛයාද කැඳවා තිබිණි. ඒ ඝාතනය සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් ලබාගැනීම සඳහාය.
අපරාධයට යොදා ගන්නට ඇතැයි සැකකරන තියුණු පිහියක් සොකෝ නිලධාරින්ට සොයාගත හැකිවුයේ ඔය අතරය. නිකල් පාට මෙම පිහිය ගෙදර එලවළු කැපීමට යොදාගන්නා එකක් බවට හඳුනා ගැනිණි. ඝාතකයා මේසය මත තිබු ප්ලාස්ටික් කැටයක් කඩා එහි තිබු සිල්ලර කාසි රැගෙන ගොස් ඇත.
සිද්ධිය පිළිබඳ දැඩි අවධානය යොමු කළ නිලධාරින්ට එහිදී ඒත්තු ගියේ කිසිවකු ගෙදරට පැමිණ මුදල් හෝ වටිනා කියන යමක් සොයා ඇති බවය. මියගිය තරුණිය එම පුද්ගලයා හඳුනා ගැනීමෙන් පසු එතැනදී ඇතිවු ආරවුලකින් ඇගේ ගෙල කපා දමා ඔහු පලා යන්නට ඇතැයි මූලික පරීක්ෂණ වලදී පොලිසියේ නිගමනය විය.
කෙසේ වෙතත් මරා දමන ලද ඇගේ දෙඅත් ගැට ගසා තිබීමෙන් මෙන්ම ඇගේ යටි කය නිරුවත්ව තිබිමෙන් නිලධාරින්ගේ සැකය වුයේ ඇය මරා දමන්නට කලියෙන් දූෂණය කර ඇති බව යන්නය. ඝාතකයා නිවසේ පිටුපස දොර ද වසා පැනගොස් ඇති බවත් විමර්ශනයේදී අනාවරණය විය.
සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත්වරයා දැනුම්වත් කිරීමෙන් පසු වැඩබලන මහේස්ත්‍රාත් සරත් පිටගම්පළ මහතා මෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.දයාපාල මහතා සිද්ධිය වු ස්ථානයට පැමිණියහ. පසුව පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර මුලික රෝහලේ පැවති අතර එහිදී අනාවරණය වුයේ ගෙලෙහි වූ කැපුම් තුවාල සහ ගෙල මත පීඩනය යෙදීම නිසා දීපිකාගේ මරණය සිදු වී ඇති බවය. ඇගේ සිරුරෙන් ඇඳුම් උනා තිබුණ ද ඇය දුෂණයට ලක්ව නැති බවත් විමර්ශනයේදී නිගමනය කෙරිණි. පසුව ඇගේ සිරුර ඥාාතින්ට බාරදෙනු ලැබු අතර බටේයාය ඇත්දාන ප්‍රදේශයේ විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ඇගේ සිරුර මිහිදන් කෙරිණි.
පොලිසියේ ඊළඟ පියවර වුයේ ඇය මරා දැමු ඝාතකයා කවුද ඇය මරා දමන්නට හේතු වූ කාරණා කවරේද යන්න සොයා බැලීමය. ඒ සඳහා සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ස්ථානාධිපතිවරයා විසින් සිය පොලිසියේ බුද්ධි නිලධාරින් කිිහිපදෙනකු තොරතුරක් සොයාගැනීමේ අදහසින් ඇත්දාන බටේයාය ප්‍රදේශයට යවනු ලැබීය.
“අපි තොරතුරු සොයන්න පටන් ගත්තා. සිද්ධිය වුණු ස්ථානයේ තිබිලා හම්බවුණ බතික් සරමත් ගෙදර තිබුණු එකක් නෙමේ. ඒක මේ අපරාධයට ආව කෙනාට අයිති එකක් කියලා අපි හඳුනාගත්තා. ගෙදර තිබුණු ප්ලාස්ටික් කැටය කඩලා රුපියල් දෙකේ පහේ කාසිත් අරගෙන ගිහින් තිබුණු නිසා අපි ඒ ගැන ගමේ දන්න කිහිපදෙනෙක් දැනුවත් කරලා තිබුණා. හදිසියේ කඩයකට බඩු ගන්න හරි, සිගරට් ගන්න හරි එහෙම කවුරුහරි මාරු සල්ලි දුන්නොත් බලන්න කියලා.”
”ඔය අතරේ තමයි අපිට තොරතුරක් ලැබුණේ රුපියල් දෙකේ පහේ කාසි දීලා පුද්ගලයෙක් ගමේ පදිංචි ප්‍රසන්න කියල කෙනෙක් ගෙන් නෝට්ටු කොළ අරගෙන තියෙනවා කියලා. අපිට ඒ පුද්ගලයාගේ නමත් ලැබුණා. පස්සේ අපි ගිහින් ඒ ප්‍රසන්න කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කළා. එතකොට දැනගන්න ලැබුණා පත්මසිරි කියන කෙනා තමයි ඒ මාරු සල්ලි දීලා නෝට්ටු අරගෙන ගියේ කියලා.”
විමර්ශන සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය. ඉන් අනතුරව පොලිසිය හැරුණේ සැකකාර පද්මසිරි වෙතටය. ඒ වනවිටත් පද්මසිරි නිවෙසින් පලාගෙස් තිබිම නිසා ඔහු කෙරෙහි තිබු සැකය තවත් තහවුරු විය.
පත්මසිරි ජීවත්වන්නේ ද කුලී වැඩ කරමින් උපයාගන්නා දෙයිනි. ඔහු තදින් මත්පැනට ඇබ්බැහි වී සිටි අයෙකි. වෙනත් පුද්ගලයකුගේ කාන්තාවක් සිය නිවෙසට රැගෙන විත් ඇය සමඟ ජීවත් වූ ඔහු 2016.03.10 දින ඔහුගේ ලොකු ම්මා කෙනෙකු වූ සීලවති නමැත්තියගේ ගෙල කපා ඝාතනය කිරිමේ චෝදනාවට බන්ධනාගාර ගත වූ අයෙකි. ඒ සම්බන්ධයෙන් රක්වාන මහ අධිකරණයේ . 68180 යටතේ නඩුවක් පවරා තිබෙන අතර අධි චෝදනා ගොනු කිරීම සඳහා ගොනුව නිතීපති වරයා වෙත යොමුකර ඇත.
මෙලෙස ඝාතකයා සොයා ගිය නිලධාරීන්ට සිද්ධිය වූ දින රාත්‍රියේම වෙනත් නිවෙසක සැඟව සිටි සැකකාර පත්මසිරි අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පසුව ඔහු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී මරණකාරිය පැළඳ සිටි රන් කරාබුවක කොටසක්, රීදි මාලයක් මෙන්ම ඇගේ ජංගම දුරකථනයද සොයාගැනීමට නිලධාරින්ට හැකිවිය.
සැකකරු සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියාය. ඔහුට වැඩිමහල් සහොයුරියක් සොහොයුරෙක් ද වෙති. ගොඩකුඹුර ගමේ පාසලෙන් හත වසර තෙක් අධ්‍යාපනය ලැබු ඔහු කිරිඇල්ල ප්‍රදේශයේ පාසලකින් තවත් වසර දෙකක වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත. බොහෝ වසර වල පන්තියේ පළමු වැනියා වී ඇත්තේ මොහුය. ඉන්පසු කුලී වැඩ හා මේසන් වැඩ වල යෙදී ඇති අතර පසුව කොළඹට ද පැමිණ එවැනි රැකියාවල නිරත වී තිබේ.
සිලවතී නමැති ඥාාතිවරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාර ගතවීමෙන් පසු 2016 නොවැම්බර් මස ඇපමත පැමිණ ඇත. එලෙස පැමිණි ඔහු මාස දෙකක් පමණ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි සිය මවගේ නිවසේ රැඳි සිට ඉන් අනතුරුව යළි බටේයාය නිවෙසට පැමිණ තිබේ. පසුව සිය සොහොයුරාගේ නිවසේ නතර වී ඔහු සමඟ කුලී වැඩ කිරීමෙන් මුදලක් සොයාගැනීම මොහුගේ අභිප්‍රාය වී තිබේ.
එම නිවසේ සොහොයුරාත් ඔහුගේ බිරියත් දරුවනුත් ජිවිත් වී ඇත. දිනපතාම මත්පැන් පානය කරන ඔහු කුලී වැඩ කරමින් උපයාගන්නා මුදල නිවසේ සඟවා තිබියදී ඔහු විසින් ගෙදරට ගෙනැවිත් තිබු අනියම් බිරිය එම මුදල් ද රැගෙන නිවෙසින් ගොස් තිබීම නිසා එදින කසිප්පු පානය කිරීමට ඔහුට මුදල් තිබි නැත.
පසුව ඔහු වත්තේ කුලී වැඩට ගොස් ඇති අතර එතැනට පැමිණි ඔහුගේ සොහොයුරා කසිප්පු බීමට නොහැකිව වේදනාවෙන් සිටි මල්ලී පද්මසිරි දැක කසිප්පු ගෙනවිත් දී තිබිණි. ඉන් අනතුරුව තවත් කසිප්පු බීමට මුදල් නැතිකම නිසා එම මුදල සොයාගැනීමේ අරමුණෙන් මොහු ධනපාලගේ නිවෙසට ගොස් ඇත. ධනපාල නිවසේ නැති බව හොදාකාරව දත් ඔහු නිවෙසට ගොස් මුදල් සොයද්දී නිවසේ සිටි දිපීකා ඔහු දැක බිය වී කෑ ගසා තිබේ.
“මම බීලා හිටියේ මාව දැකලා ඒ ළමයා කෑ ගැහැව්වා. මම ගේ ඇතුළට ඇදගෙන ගිහින් බෙල්ල කැපුවා. ඒත් එයා දඟලන්න පටන් ගත්තා පස්සේ තමයි අත් දෙක බැන්දේ”
ඔහු පොලිසිය හමුවේ එසේ පවසන්නට විය. ඉන් අනතුරුව අල්මාරිය කඩා මුදල් සොයා ඇති මොහු අතට හසු වූ ඇගේ ජංගම දුරකථනය කරාබුවක කොටසකුත් මේසය මත තිබු ඇගේ ප්ලාස්ටික් කැටයත් කඩා එහි තිබු මුදල් රැගෙන ගොස් තිබිණි. මාරු සල්ලි මාරුකිරිමෙන් ඔහුට ලබාගත හැකි වුයේ රුපියල් 210කි. සියල්ල අනාවරණය කරගත් පොලිසිය වු ස්ථානය ළඟ දමා ගිය බතික් සරමේ කොටස කාගේ දැයි ඔහුගෙන් විමසා තිබේ.
“ඒක තමයි සර්. වත්තේ කුලී............... ඉතිරිය පහතින්
Loading...
ඔහුගේ ප්‍රකාශය මත සරමේ ඉතිරි කොටස ඔහුගේ නිවසේ තිබී සොයා ගැනීමට හැකි වී තිබේ. ඒ සියල්ල නඩු භාණ්ඩ ලෙස පොලිසිය සිය බාරයට ගෙන ඇත.
සැකකරු නඩු අංක බී 658/17 යටතේ රක්වාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
රත්නපුර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන හා රත්නපුර සහකාර පොලිස් අධිකාරි ධ්ධ් ටි.ඒ. එච්. නිශ්ශංක යන මහත්වරුන්ගේ උපදෙස් මත රක්වාන පොලිස්ස්ථානාධිපති බී.ඒ.ඒ.පී. බමුණුසිංහ ප්රමුඛ උපපොලිස් පරීක්ෂක රත්නායක, සැරයන් ගාමිණි (24444) කොස්තාපල්වරුන් වූ විජේරත්න (32292) හා ජානක (27563) යන නිලධාරිහු මේ පිළිබඳ පැවති විමර්ශන වලට එක්වුයේ රත්නපුර සොකෝ අංශයේ පොලිස් පරීක්ෂක මායාදුන්නේ ඇතුළු නිලධාරින්ද මීට සහාය දැක්වුහ.
පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය. – ඡායාරූප – එන්.පි.රාජ දොරේ – රත්නපුර විශේෂ – එම්.චන්ද්‍ර කුමාර් – රක්වාන සමුහ
Post a Comment