මම තාත්තාට හිතාමතා කැත්තෙන් කෙටුවේ නෑ. තාත්තා ගහපු මෝල්ගස් පාරෙන් බේරෙන්න වෙනත් ක්‍රමයක් තිබුණේ නෑ. ඒ නිසයි කැත්තෙන් කෙටුවේ. කැති පහරෙන් තාත්තාගේ වම් අතෙන් කැපිලා බිමට වැටුණු ඇඟිල්ලක් මම අරගෙන සොපින් කොළයක ඔතලා ෆ්‍රීජ් එකට දැම්මා. තුවාල වූ තාත්තාව අපි එකතුවෙලා වාහනයකින් හලාවත රෝහලට යැව්වා.
අඩිප්පල අඹගහයාය ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලකදී සිය 16 හැවිරිදි පුතා විසින් කැත්තකින් කළ පහරදීමකදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට දුන් කටඋත්තරයකදී 16 හැවිරිදි පුතා එසේ පැවසුවේය.
මෙම පහර දීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ආරච්චිකට්ටුව අඩිප්පල අඹගහයාය පදිංචි සූරියහෙට්ටි............... ඉතිරිය පහතින්
අධිකාරි මුදියන්සේලාගේ ලලිත් මංගලසිරි නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි. සිය පුතා විසින් තාත්තාට කැති පහරවල් දෙකක් එල්ල කර ඇති අතර ඉන් උරහිසටත් වම් අතේ මැදඟිල්ල, වෙදැඟිල්ල, සුළැඟිල්ල සම්පූර්ණයෙන් කැපී වෙන්ව මැදඟිල්ල බිමට වැටී ඇත.
සෙසු ඇඟිලි දෙක හමෙන් එල්ලී තිබී ඇත. තුවාලකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාලවල බරපතළකම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට බාලවයස්කාර මෙම දරුවා විසින් දුන් කටඋත්තරය හා පොලිස් පරීක්ෂණවලට අනුව මෙසේ කරුණු අනාවරණය කරගත හැකිව තිබේ.
මෙම දරුවා වයස අවුරුදු දෙකේදී, තුවාල ලැබූ තාත්තා විසින් මව හැරගොස් ඇත. පසුව ජීවත් වීමට ක්‍රමයක් නැති හෙයින් දරුවා තම තාත්තාගේ මවට සහ පියාට භාරදී මව රැකියාව සඳහා විදේශගතව තිබේ. වසර තුනකට පසු නැවත පවුල සාමදාන වුවත් වැඩිකල් නොගොස් දෙවන වරටත් පවුල හැරදමා ගිය මෙම පුද්ගලයා වෙනත් විවාහයක් කරගෙන ඇත. පසුව මෙම දරුවාගේ මවද වෙනත් විවාහයක් කරගෙන ඇති අතර ගමෙන් බැහැරව ජීවත්ව ඇත.
මෙම සිද්ධිවලින් තනිවූ අසරණ වූ මෙම දරුවා අත්තාගේ සහ කිරිඅම්මාගේ සෙනෙහසින් හැදීවැඩී ඇත. පාසලේ 10 ශේර්ණිය දක්වා පමණක් අධ්‍යාපනය ලබන මෙම දරුවා පාසල් අධ්‍යාපනය නවත්වනු ලබන්නේ ආර්ථික ප්‍රශ්න නිසාවෙනි. මෙම කාලය තුළ මෙම නිවසට තාවකාලිකව පදිංචියට එන පියාගේ නංගි සහ මාමා විසින් වරින් වර කරනු ලබන හිරිහැර ගුටිබැට පමණක් නොව පියාද නිතර ඇවිත් සිදුකරනු ලබන කෙනහිලිකම්, පරුෂ වචනයෙන් බැන වැදීම් හේතුවෙන් මෙම දරුවා මහත් මානසික පීඩනයකින් සිට ඇති බව පොලිසියට අනාවරණය කරගත හැකිව ඇත.
සිද්ධියට මාසයකට පමණ ඉහතදී බීමතින් නිවෙසට පැමිණෙන පියා මෙම දරුවා විසින් සකසා තිබූ පරවි කූඩුව කඩා බිඳදමා පරවියන්ද මරණයට පත්කර එක් පරෙවියකු දරුවාගේ කටට ඔබා තිබේ. සිද්ධිය සිදුවූ පසුගිය සෙනසුරාදා පෙරවරුවේ මෙම දරුවා විසින් මාමාට කෑමට තබා ඇති කුකුල් මස් සහ බිත්තර ආහාරයට ගැනීම හේතුවෙන් මාමා පහර දී ඇත.
මෙහිදී ඇති වූ ගැටුමේදී ඉවසා ගත නොහැකිව දරුවාද පහර දී ඇත. පසුව අත්තා මැදිහත් වී ගැටුම සමථයකට පත් කළත් මෙම මාමා විසින් වෙනම ජීවත් වෙන දරුවාගේ තාත්තා සමඟ පවසා ඇත්තේ මෙම දරුවා විසින් අත්තාට පහර දුන් බවයි. පසුව බීමත්ව මෙම නිවෙසට පැමිණෙන පියා දරුවාට මෝල්ගසෙන් කළ පහර දීමකදී එම ප්‍රහාරයෙන් බේරීමට මෙසේ කැත්තෙන් කොටා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බලවයස්කරු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ සමාජය සහ වැඩිහිටියන්ගේ වරදින් දරුවා මෙම තත්ත්වයට වැටී ඇති බවත් දරුවාගේ අසරණකම තේරුම්ගෙන ඔහුව සුමඟට ගැනීමට හැම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බවත්ය.
වීහේණ – අනුරාධ
Post a Comment